ඇපල් මිදිවලටත් වස ගහනවද? ඇග හිරි වැටෙන හෙළිදරව්වක් මෙන්න මේවා මිළදී ගන්න කලින් දෙපාරක් හිතන්න
පැපොල්, අඹ, කෙසෙල් වැනි පලතුරක් මිලදී ගැනීමේදී ඒවාට කාබයිට් ගසා ඇත්දැයි කියා හෝ විමසා බැලීමට පුරුදුව සිටින අප ඇපල්, මිදි මිලදී ගැනීමේදී දිගු දුර නොබලන්නේ ඒවා විදේශයන්ගෙන් ගෙන ඒම නිසාය.
එහෙත් ඇපල්, මිදි, දොඩම් වැනි ආනයනික පලතුරු පිළිබඳ දැන් දැන් අසන්නට ලැබෙන්නේ එතරම් හොඳ පුවතක් නොවේ. එබැවින් මෙරටට ගෙන එන ඇපල්, මිදි වැනි පලතුරුවල ප්‍රමිතීන් පිළිබඳ එක් එක් ආයතනවලින් විමසා සිටින්නට අප තීරණය
කළෙමු. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මේ පිළිබඳව විමසා සිටියෙමු. එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්, නයනා සතරසිංහ පැවැසුවේ පලතුරු ආනයනය සම්බන්ධව තම ආයතනය ක්‍රියා නොකරන බවයි.
අපිට අයිති ආහාර වර්ග 123 අතර ආනයනික පලතුරු ඇතුළත් නැහැ. මේ පිළිබඳව ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇය පවසන ආකාරයට ආහාර හා වෙනත් ද්‍රව්‍ය පිළිබඳව ප්‍රමිතියක් ලබා දීමට සිටින ආයතනය වන ප්‍රමිති ආයතනයද ඒ සඳහා වග නොකියන බවක්් අපට හැඟෙයි. එසේ නම් ආනයනික පලතුරු පිළිබඳ වගකීම පැවැරෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටදැයි අප එයින් විමසීමක් කළෙමු. එහිදී අපට දැන ගන්නට ලැබුණේ කටුනායක පිහිටි ජාතික ශාක නිරෝධායන සේවය මේ පිළිබඳව වග කියන බවයි. අප එම ආයතන ඇමතූ විට එහි ප්‍රකාශිකාවකගෙන් තොරතුරු ලබා ගැනීමට හැකි විය. ඇය පැවැසුවේ තමන්ගේ නීති රෙගුලාසිවලට අනුකූලව පලතුරු ආනයනය සඳහා අවසර ලබා දෙන බවයි. එහිදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් ආනයනට පෙර කරුණු කීපයක් සලකා බලන බව ඈ පැවැසුවාය. ඒ අනුව ඉල්ලුම් කළ පලතුරු ආනයනකරු සතුව ප්‍රමාණවත් ශීතාගාර පහසුකම් පවතින්නේද යන්න ප්‍රථමයෙන්ම සොයා බැලීමක් කරන බව එහි ප්‍රකාශිකාව පැවැසුවාය.
එම කරුණ හා අනෙක් අතිරේක කොන්දේසි සපුරා ඇත්නම් පලතුරු ආනයනයට අවසර ලබා දෙයි.
අදාළ පලතුරු කන්ටේනරය වරායට පැමිණි පසු නියමිත උෂ්ණත්වයට අනුව ඒවා ප්‍රවාහනය කර ඇත්දැයි සොයා බැලීමක් ජාතික ශාක නිරෝධායන ආයතනය සිදු කරයි. එසේම පළිබෝධයන් සිටීදැයි නිරීක්ෂණය කර බලයි. අදාළ ලියකියවිලි හා සොයා බැලීම් නිවැරදි නම් පලතුරු කන්ටේනරය වරායෙන් නිදහස් කිරීමට අවසර ලබා දෙන බව එම ප්‍රකාශිකාව පැවැසීය. ඒ අනුව රෝග නිරෝධන කාර්යාලයේ වගකීම ඉන් නිම වන බව වටහාගත හැක.
එසේ නිදහස් කරන පලතුරු ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් දැයි පරීක්ෂාකිරීමේ වගකීම ඇත්තේ ආහාර බලධරයා වෙතයි. අප මේ පිළිබඳ ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමු. ඔහු පවසනුයේ අදාළ පලතුරු කන්ටේනර් සියල්ලම වරායේදී පරීක්ෂා නොකරන බවයි.
අපි වරායේදී අහඹු ලෙස පරීක්ෂා කිරීම් සිදුකරනවා. නමුත් අපි විශේෂයෙන් සිදු කරන්නේ වෙළෙඳපොළ තුළදී තමයි.එයත් අහඹු ලෙස ලබා ගෙන පරීක්ෂාවට ලක්කරනවා. එහිදී ශරීරයට අහිතකර ද්‍රව්‍ය ආනයනික පලතුරු තුළ ඇත්නම් අදාළ ආනයන තහනම් කිරීමට පියවර ගන්නවා. එසේම පැමිණිල්ලක් ලැබුණු විට පරීක්ෂාව අනිවාර්යයෙන්ම සිදු කරනවා.
අප මේ පිළිබඳ ප්‍රධාන පලතුරු ආනයනකරුවකු වන සුනිල් ට්‍රේඩස්වලින් විමසීමක් කළෙමු. එහි මෙහෙයුම් කළමනාකරු වන විජිත් ගුණවර්ධන පැවැසුවේ මෙවැන්නකි.
අපි පලතුරු ආනයනය සිදු කරන්නේ ජාතික ශාක නිරෝධායන ආයතනයේ සියලුම නීති රීතිවලට අනුකූලවයි.
අදාළ පලතුරු ප්‍රවාහනයේදී ශීත ගබඩාවල පහසුකම් සහිත කන්ටේනර්වල තමයි ප්‍රවාහනය කරන්නේ. මෙරටට පැමිණීමේදී අදාළ පලතුරු යහපත් මට්ටමේ නොතිබුණොත් අපි ඒවා භාරගන්නේ නෑ. ඒ වාගේම වරායෙන් නිදහස් කළ පලතුරු අදාළ ශීත ගබඩා තුළ අපි ගබඩා කරනවා. අපි මෙම පලතුරු සඳහා කිසිම ආලේපයක් ගල්වන්නේ නැහැ. නමුත් අදාළ රටවල් වෙළෙඳ බෝග වගාවේදී ඒ සඳහා දමන පොහොර රසායනික ද්‍රව්‍ය තමයි මේවට භාවිත කරන්නේ. ඕනෑම වෙළෙඳ බෝගයකට විවිධ රසායනික ද්‍රව්‍ය ඉසීම සිදුකරනවා. නමුත් අපි මෙරටදී කිසිම රසායනික ගැල්වීමක් සිදු කරන්නේ නැහැ. අපි තොග වෙළෙඳුන්. නමුත් අපෙන් මිලදී ගන්නා පිරිස මෙම පලතුරුවලට විවිධ ද්‍රව්‍ය ගැල්වීමක් සිදු කරනවාද යන්න අප දන්නේ නැහැ. ඒ අනුව අප කන ඇපල්, මිදිවල අවසාන වගකීම ඇත්තේ කා සතුවදැයි අපට ඇත්තේ බරපතළ ගැටලුවකි.
මෙහිදී විජිත් ගුණවර්ධන ප්‍රකාශ කළේ ඇපල් ගෙඩිය මත ස්ටිකරයක් අලවා ඇත්තේ එම ඇපල් වර්ග වර්ගීකරණය කිරීම සඳහා බවයි.
එහෙත් කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසනුයේ ආනයනික පලතුරු ගැටලු රැසක් ඇති කරනා බවයි.
වෙළෙඳ පොළේ ඕනෑම ආහාර ද්‍රව්‍යයක කල් ඉකුත්වීමේ දිනය තියෙනවා. ඒත් පිටරට පලතුරුවල ඒක නෑ. ඇත්තටම ඇපල් වගේ පලතුරුවල කල් ඉකුත් වීමේ දිනය පෙට්ටියේ ගහලා තියෙනවා. ඊට අමතරව කුඩා ස්ටිකර් එකක් මගින් ගෙඩියේත් ඒ දිනය ගහලා තියෙනවා. මේ ස්ටිකර් එක ලංකාවට එද්දී තියෙනවා. ඒත් කඩවලට යද්දී ඒක නෑ. මේක සංවිධානාත්මක ජාවාරමක්.
ඊට අමතරව ආනයනික පලතුරු සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය ආලේප කරන බවද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසන්නේය.
කල්තියාගන්න මේ පලතුරුවලට රසායනික ද්‍රව්‍ය ගහනවා. නැවුම් බව සහ දීප්තිය රැක ගන්නත් මේ වගේ රසායන ද්‍රව්‍ය ගහනවා. ඇතැම්විට ඇපල්වල පුංචි ස්ටිකර් තියෙනවා. මේ ස්ටිකර් ඉවත් කළාම ඒවා තිබූ තැන එන්නත් කටුවක සලකුණු තියෙනවා.
මිදිවලත් පිටි වගේ දෙයක් තවරලා තියෙනවා. මේවා සියල්ලම රසායන ද්‍රව්‍ය. පසුගිය කාලේ ජාතික රෝහලේ විෂ තොරතුරු ඒකකයට ආනයනික පලතුරු කාපු අය කිහිප දෙනෙක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වුණා.
ආනයනික පලතුරුවල රසගුණ නොමැති බවද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසයි. ඊට හේතුව ඔහු දක්වනුයේ මෙසේය.
සාමාන්‍යයෙන් අපි කන්න කියන්නේ නැවුම් පලතුරු. මොකද ඒවායේ තමා විටමින් සී හා ප්‍රතිඔක්සිකාරක තියෙන්නේ. කල් ගතවීමේදී ඒවා ඉබේම විනාශ වෙනවා. රටින් ගේන ඇපල්, මිදි, දොඩම් කවදාවත් පාඩුපිට අපට ලැබෙන්නේ නෑ. ඒවා මාස ගණනක් ප්‍රවාහනයේ හා ගබඩාවල තියෙනවා. එබැවින් මේවා කෑම ඵල රහිත දෙයක්. වැදගත්ම දේ තමයි ලංකාවේ සුපිරි වෙළෙඳ සල්වල පවා කල් ඉකුත් වීමේ දිනය රහිත ඇපල් මිදි අලෙවි වීම. අපි දන්නා විදිහට සුපර් මාර්කට්වල කල් ඉකුත්වීම් දිනය නැතිව විකුණන එකම ආහාර ද්‍රව්‍ය තමයි ආනයනික පලතුරු. මේක ජනතා සෞඛ්‍යයට තදින් බලපාන දෙයක්. ඉක්මනින් මෙය නිවැරදි නියාමනයකට ලක් විය යුතුයි.
පලතුරු ආනයනකරුවන් පළතුරු ගැන මොන රස කතා පැවැසුවද ඇපල් මත ආලේප කරනා වැක්ස් විශේෂ නිසා ඒවා ආහාරයට ගැනීම පිළිබඳ දෙවරක් සිතිය යුතු බව පෙනේ. මෙම වැක්ස් වර්ග සහ ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ආනයනකරුවන් තුළ පවා දැනුමක් නැති බව අපට මෙහිදී දැනගත හැකි විය. අවසන් වශයෙන් පාඨක ඔබ වෙත පැවැසිය යුතුව ඇත්තේ පලතුරක් සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවයි. පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා තිලකරත්න පාරිභෝගික ඔබේ එකී අයිතිය පිළිබඳ මෙසේ පැවැසුවාය.
පලතුරු සම්බන්ධව විතරක් නොවේ ඕනෑම ආහාරයක් සම්බන්ධව අපට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එහිදී ඔබ සතුව බිලක් තිබිම අත්‍යවශ්‍යම නෑ. බිල්පතක් රහිතව වුවත් ඔබ මිලට ගත් ආහාර ද්‍රව්‍ය සතුටුදායක තත්ත්වයක නැති නම් ඔබට ඒ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. එවැනි පැමිණිලි ගැන අප ක්‍රියා කරනවා.
එසේම එම පැමිණිලි පිළිබඳව විමර්ශනයේදී පාරිභෝගික අධිකාරිය ප්‍රථමයෙන් විමසා බලන්නේ කුමන කරුණුදැයි අපි විමසා සිටියෙමු.
සෑම ආහාරයක්ම ආනයනයේදී අපි විශේෂ කරුණක් පරීක්ෂා කරනවා. ඒ තමයි නිෂ්පාදිත දින සිට පරිභෝජනය සඳහා සියයට 60ක කාලයක් ඉදිරියට තිබිය යුතු වීම. මෙම තත්ත්වය පලතුරුවලටත් බලපානවා. නිෂ්පාදිත පලතුරු ඇසුරුම්වල සටහන් වෙලා තිබෙනවා. ඒ අනුව අපි එය තීරණය කරනවා.
පලතුරු ආනයන පිළිබඳ විවිධ පිරිස් මෙසේ විවිධ අදහස් පළකළහ. නමුත් මෙයට තවම හරිහමන් නීතියක් නොපවතින බව පැහැදිලිය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඇපල් සම්බන්ධව යම්කිසි ප්‍රමිතියක් සකසමින් සිටින බව පැවැසේ. එය යහපත් ආකාරයට සිදු වුවහොත් රටටම යහපතක් සිදු වේ.
ශිරෝමි රත්නායක
Post a Comment