Header Ads

වම්බොටු මොජු හදන හරිම රෙසිපි එක මෙන්න

පහලින් අපව subscriber කරන්න යාලුවනේ


ගොඩක් වෙලාවට අපි ටිකක් ලොකු කෑම වේලක් දෙනකොට බටු මෝජුවක් නම් හදනවමනේ.. ඒ නිසාම ඔන්න මේක ගොඩක් වැදගත් වෙයි ඔයාල හැමෝටමත්.
අවශ්‍ය දේවල්
⇰ වම්බොටු 1kg

⇰ අමු මිරිස් කරල් 150g

⇰ රතු ලූණු 250g හෝ රට ලූණු 375g පමණ
⇰ වියළි හාල්මැස්සෝ 150g
⇰ විනාකිරි අඬු කොප්ප ½ – 1 ක් පමණ
⇰ සීනි මේස හැදි 1 ½ – 3ක් පමණ
⇰ කහ කුඩු තේ හැදි ¾ ක් පමණ
⇰ අබ ඇට තේ හැදි ½ – 1 ½ක් පමණ
⇰ මිරිස් කුඩු තේ 1-2ක් පමණ
⇰ අඟල් 1 පමණ ඉඟුරු කෑල්ලක්
⇰ සුදුලූණු බික් 2-3ක්

 කරපිංචා ඉති 2ක පමණ කරපිංචා කොළ
⇰ රම්පේ කෑලි 6-7ක් පමණ
⇰ පොල්තෙල් (බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට)
⇰ ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය
මුලින්ම වම්බොටු හොඳින් සෝදා පිරිසිදු කර ගෙන දික් අතට තීරු ලෙස කපා ගන්න.එයටම කහ කුඩු සමඟ අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ටිකක් එකතු කර හොඳින් අත ගා ගෙන කලවම් කර ටික වේලාවක් (විනාඩි 10ක් පමණ) පසෙකින් තබා ගන්න.පසුව කහ සමඟ ලුණු අත ගා ගත් වම්බොටු ටික ගෙන හොඳින් මිරිකා වතුර ඉවත් කර ගන්න.රතු ලූණු ටික ද සුද්ද කර ගෙන හොඳින් සෝදා වතුර බේරිමට තබා ගන්න. (සාමාන්‍යයෙන් රතු ලූණු ගෙඩි පිටින්ම මෙයට එකතු කරයි, ඔබට අවශ්‍ය නම් පමණක් රතු ලූණු ගෙඩි දෙකට කපා ගන්න.)
ඔබ රතු ලූණු වෙනුවට රට ලූණු ගන්නවා නම් ඒවා ද සුද්ද කර හොඳින් පිරිසිදු කර ගෙන තරමක් ඝනකමට (2mm පමණ ඝනකම සිටින සේ) ලියා ගන්න.අමු මිරිස් කරල් සෝදා පිරිසිදු කර ගෙන පසෙකින් තබන්න. (අමු මිරිස් කරල් ද සාමාන්‍යයෙන් කරල් පිටින්ම මෙයට එකතු කරනු ලැබේ, ඔබට අවශ්‍ය නම් පමණක් අමු මිරිස් කරල් දෙකට පලා ගන්න.)වියළි හාල්මැස්සෝ ටික ද හොඳින් සුද්ද කර ගෙන සෝදා පිරිසිදු කර ගෙන වතුර බේරීමට පසෙකින් තබා ගන්න.
දැන් තෙල් තාච්චිය ලිප තබා එයට පොල් තෙල් දමා සාමාන්‍ය ගින්දරේ තෙල් හොඳින් රත් වීමට තබා එයට රම්පේ ටික දමා බැද ගෙන පසෙකින් තබා ගන්න.පසුව එයටම කරපිංචා කොළ ටික ද එකතු කර බැද ගෙන පසෙකින් තබා ගන්න.ඉන් පසුව වම්බොටු ටික ටික දමා ගෙන තෙල් හැන්දෙන් පෙරලමින් දුඹුරු පැහැ වන තුරු හොඳින් බැද ගෙන පිරිසිදු කපු රෙදිකඩකට දමා ගෙන ටික වේලාවක් තබන්න.
බැද ගත් වම්බටු ටිකක් නිවුනු පසුව රෙදිකඩින් පොට්ටනියක් සේ සාදා හොඳින් මිරිකා ගෙන තෙල් ඉවත් කර ගෙන තවදුරටත් තෙල් බේරීමට පසෙකින් තබන්න. (මෙලෙස කිරීමෙන් කල් තබා ගත හැකි කාලය වැඩි වෙයි. එසේ නොමැතිව ගැඹුරු තෙලේ බැද ගත් වම්බටු තෙල් බේරිමට පමණක් තබා ගෙන වුවත් සකස් කර ගන්න පුළුවන් නමුත් එවිට කල් තබා ගැනීමේදී මුඩු ගතියක් ඇති වීමට හැකියි.)
රතු ලූණු ටික ද යන්තමින් ගැඹුරු තෙලේ බැද ගෙන(විනාඩි ½ ක් පමණ) තෙල් බේරීමට තබා ගන්න.ඔබ රට ලූණු යොදා ගන්නවා නම් ඒවා ගැඹුරු තෙලේ මදක් දුඹුරු පැහැ වන තුරු බැද ගෙන තෙල් බේරීමට තබා ගන්න.ඉන් පසුව අමු මිරිස් කරල් ටික ද මදක් ගැඹුරු තෙලේ බැද ගෙන(විනාඩි 1-1 ½ ක් පමණ) තෙල් බේරා ගන්න.එමෙන්ම වියළි හාල්මැස්සෝ ටික ද ගැඹුරු තෙලේ රනවන් දුඹුරු පාටට බැද ගෙන තෙල් බේරා ගන්න.පසුව ඉඟුරු, සුදුලූණු සහ අබ ඇට වෙන වෙනම හොඳින් ගලේ අඹරා ගන්න. (නැතිනම් බ්ලෙන්ඩර් කර ගෙන පේස්ට් එකක් හදා ගන්න.)
දැන් මැටි වලදක් ලිප තබා ගෙන එයට විනාකිරි දමා ගෙන අඩු ගින්දරේ රත් කරන්න ගන්න.විනාකිරි යන්තමින් නටා ගෙන එන විට එයට එයට සීනි, අඹරා ගත් ඉඟුරු, අඹරා ගත් සුදුලූණු, අඹරා ගත් අබ, මිරිස් කුඩු හා රස අනුව ලුණු එකතු කර හොඳින් කලවම් කර සීනි හොඳින් දිය වන තෙක් රත් කරන්න.පසුව එයට පිළිවෙලින් ගැඹුරු තෙලේ බැද ගත් රම්පේ, කරපිංචා, වම්බටු, ලූණු, අමු මිරිස් කරල් සහ හාල්මැස්සන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කර තවත් විනාඩික් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න.මෝජුව සම්පූර්ණයෙන්ම නිවුනු පසුව ජීවානුහරනය කළ වීදුරු බෝතලයකට අසුරා ගෙන හොඳින් වසා තබන්න.
වැදගත්
මෙය හාල්මැස්සන් යොදා නොගෙන වුවත් සකස් කර හැකියි.ඔබගේ රස අනුව භාවිතා කරන ලුණු, සීනි, මිරිස් කුඩු, විනාකිරි සහ අබ අඩු වැඩි කර ගෙන පැණි රස, ඇඹුල් රස, ලුණු රස හා සැර ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකියි.මෙලෙස සකසා ගත් වම්බොටු මෝජු සතියක් පමණ ශීතකරණයකින් තොරව සහ ශීතකරණයේ තබනවා නම් සති 2-3ක් පමණ කාලයක් කල් තබා ගන්න පුළුවන්.
අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න.

No comments