Header Ads

තුන්වේල බත් කාලා වැඩ නොකර සිටියොත් අක්‌මාවේ මේදය තැන්පත් වෙනවා

වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙන බෝ නොවන රෝග වන දියවැඩියාව, අධි රුධිරපීඩනය තරබාරුව හා සමානව අක්‌මා රෝගද ඉහළ යන්නට පටන් ගෙන ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් මතුවන රෝග දෙක්‌ක වනුයේ අක්‌මාවේ තෙල් තැන්පත් වීම සහ සිරෝසිස්‌ රෝග තත්ත්වයන්ය.
අක්‌මාවේ මේදය තැන්පත්වීම (Fatty Liver)
අක්‌මාවේ මේදය තැන්පත්වීමට ප්‍රධාන වශයෙන්ම බලපානුයේ දියවැඩියාව, තරබාරුව සහ අධි රුධිර පීඩන යන රෝගයන්ය.
තුන්වේලට බත්කාලා වැඩ නොකර සිටියොත් අක්‌මාවේ මේදය තැන්පත්වීම ඉතා ශීඝ්‍රව සිදුවන බව අනාවරණය වී ඇත.
අක්‌මාවේ තෙල් තැන්පත්වීම මුල් අවස්‌ථාවේදී (Simple Fat Acumulatoion) රුධිර පීඩනය, දියවැඩියාව වැනි වෙනත් රෝග ද මතු වේ. එබැවින් යම් අයකුගේ මුල්වරට රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ලක්‍ෂණ අනාවරණය කර ගත් පසු එම තැනැත්තාගේ අක්‌මාවේ මේදය තැන්පත් වීමද පරීක්‍ෂාවට ලක්‌ කිරීම වැදගත්ය.
ප්‍රතිකාර
අක්‌මාවේ මේදය තැන්පත්ව ඇති පුද්ගලයන් ආහාර පාලනය සඳහා යොමුවිය යුතුය. උසේ හැටියට බර පවත්වාගෙන යැම කළ යුතුය. දිනපතා ව්‍යායාමවල යෙදිය යුතුය.
අක්‌මාවේ තැන්පත් වූ තෙල් දියවී යැම සඳහා ඖෂධ තිබේ දැයි බොහෝ රෝගීහු විමසති. එවැනි ඖෂධ වර්ග නැති අතර ඒ සඳහා ඇති විසඳුම ආහාර පාලනය සහ ව්‍යායාමවල නිරතවීම පමණකි.
වර්තමානයේ බොහෝ දෙනා තුන්වේලටම බත් ආහාරයට ගැනීමට කැමැත්තක්‌ දක්‌වති. ඉන් ඔවුන් බලාපාරොත්තු වන්නේ නීරෝගී දිවියකි. ඉස්‌සර මුතුන් මිත්තන් තුන්වේලටම බත් කෑ නිසා නීරෝගීව සිටි බව ඊට හේතු ලෙස දක්‌වති. නමුත් තුන්වේල බත් කා ඇඟපත වෙහෙසෙන්නේ නැතිව නිවසට වී රූපවාහිනිය නරඹමින් කාලය ගත කළොත් සිදුවන්නේ අක්‌මාවේ මේදය තැන්පත් වීමේ රෝගයට ඉතා ඉක්‌මනින්ම ගොදුරු වීමය.
එසේම අක්‌මාවේ මේදය තැන්පත්වීම සඳහා නිසි වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර නොකළ හොත් පසු කාලයේදී සිරෝසිස්‌ රෝග තත්ත්වයට ගොදුරු විය හැකිය. වර්තමානයේ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් බහුතරයකට සිරෝසිස්‌ රෝගය වැළඳී ඇත්තේ අක්‌මාවේ මේදය තැන්පත් වීම සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.
විශේෂයෙන්ම කාන්තාවන් බහුතරයකට සිරෝසිස්‌ රෝගය මතුව ඇත්තේ අක්‌මාවේ මේදය තැන්පත්වීමේ රෝගය සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමය.
නිසි ප්‍රතිකාර නොගැනීම නිසා සිරෝසිස්‌ රෝගයට අමතරව හෘදයාබාධවලට, අක්‍ෂි රෝග හටගැනීමට, මොළයේ රුධිර නාල හානියට ලක්‌වීමට ආදී බරපතල රෝගවලට ගොදුරු වීම දක්‌වා බලපෑම් ඇති වේ.
ආහාර පාලනය
ප්‍රධාන වේල් තුනට ගනු ලබන ආහාර නිසි පාලනයකින් යුතුව ගත යුතුය. බත් පිඟානේ පිෂ්ට ආහාර තිබිය යුත්තේ ආහාරවලින් කාලකි. මස්‌, මාළු, සෝයා වැනි ප්‍රොaටීන් සහිත ආහාර ප්‍රමාණය ද ආහාරයෙන් කාලක්‌ විය යුතුය. ඉතිරි හරි අඩ කොළපැහැති එළවළුවලින් සම්පූර්ණ විය යුතුය.
බත්, පරිප්පු, සම්බෝල වැඩිපුර ආහාරයට ගැනීමෙන් අක්‌මාවේ තෙල් තැන්පත්වීම ඉහළ යයි.
රාත්‍රියට සැහැල්ලු ආහාරයක්‌ ගැනීමට හුරු විය යුතුය.
එළකිරි යනු දිනපතා ගත යුතු පෝෂ්‍යදායි ආහාරයක්‌ නොවේ. ඒනිසා එළකිරි පානය කිරීම අත්‍යවශ්‍ය නැත.
රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා රාගම රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුරාධ දසනායක, ජාතික රෝහලේ අක්‌මා රෝග සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන රංජිත් පීරිස්‌, එන්. එම්. එන්. නවරත්න සහ සනිත විඡේවන්න යන මහත්වරු සහභාගී වූ සුව දැනුම විශේෂඥ වෛද්‍ය හමුව ඇසුරිනි.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments